Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

මෙය ඉතා වැදගත් කරුණකි. ඒ ඒ කාරණය මෙන් ම අවශ්‍ය ප්‍රමාණය අනුව ද අකුරු යෙදීම ඉතා වැදගත් ය. කාරණය අනුව ගත් කල ජාතික පුවත්පතක සිරස්තලයකට යොදන අකුරු සහ ඇතුලේ විශේෂාංග පිටුවක සිරස්තලයක අකුරු වෙනස් විය හැකි ය. ප්‍රවෘත්ති සිරස්තලයක අකුරු ඉතා පැහැදිලි නිරවුල් බවක් සහිත විය යුතු වන අතර, සතිපතා පළ වන කෙටිකතාවේ සිරස්තලය විසිතුරු මෝස්තරයකින් යෙදිය හැකි ය. චිත්‍රපට නළු නිළියන් ගැන තොරතුරු සහිත ලිපියක සිරස්තලය සුන්දර ලාලිත්‍යයක් ඇති මෝස්තරයකින් යෙදිය යුතු ය. මිනීමැරුමක් හෝ මංකොල්ලයක් ගැන කියවෙන විශේෂාංග ලිපියක සිරස්තලයේ අකුරු වලින් එහි අන්තර්ගතය ඉස්මතු කළ හැකි වේ නම් වඩා උචිත ය. ඒ සඳහා දැවැන්ත භාවයක් දැනෙන කඳ මහත, කළු, බර අකුරු උචිත ය. එවිට අකුරක ප්‍රකාශන ශක්තිය උපරිම අයුරින් භාවිත වූවා වෙයි.
මඟුල් ඇරයුම් පතක් සඳහා අපේ දේශීය බව හැඟවෙන, මඟුල් සිරියත් දනවන, ලාලිත්‍යයකින් හෙබි මෝස්තරයක් ගැළපෙයි.
විලාසිතා අලෙවි සලක නාම පුවරුවට යම් බරක් මෙන් ම සුන්දර බවක් ද සහිත අකුරු මෝස්තරයක් සුදුසු වුව ද ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සලකට එවැන්නක් ගැළපෙන්නේ නැත. අවමඟුල් දැන්වීමකට විසිතුරු මෝස්තර නො ගැළපෙන අතර චාම්, පැහැදිලි සරල මෝස්තරයක් යොදා ගත යුතු ය.
නැකැත් පත්‍රයක් හෝ ආගමික කටයුත්තක් පිළිබඳ ආරාධනා පත්‍රයක් ආදියට පුස්කොළ අකුරු වැනි හැඩයක් සහිත මෝස්තරයක් වඩා උචිත ය.

පෝස්ටර්, බැනර් ආදියේ දී ඒවා දුරට පෙනෙන ආකාරයේ මෝස්තර තෝරා ගත යුතු වනවා මෙන් ම ඉතා කුඩා ලේබලයක් නිර්මාණයේ දී කුඩා සිහින් පැහැදිලි සරල අකුරු මෝස්තර තෝරා ගත යුතු ය.

 

 
 

යම් ආයතනයක් තමන් ගේ කටයුතු සඳහා තමන්ට ම ආවේණික විශේෂ මෝස්තරයක් යොදා ගැනීම මෙයින් අදහස් කෙරේ.
පරිගණක යුගයට පෙර ජාතික පුවත්පත් වල මේ කාරණය ඉතා හොඳින් දකින්නට ලැබිණි. පුවත්පතේ නම සඳහන් නො වන ඉරී ගිය කැබැල්ලක් දුටුව ද ඒ කවර පුවත්පත ද යි කීමට එදා ඒ පුවත්පත් භාවිත කළ තම තමන්ට ආවේණික වූ අකුරු මෝස්තර වලින් හැකි විය. අද පරිගණකය තුළ ඇති සීමිත මෝස්තර ප්‍රමාණය කවුරුත් භාවිත කරන නිසා එබදු අනන්‍යතාවක් දැකිය නො හැකි ය. සිලෝන් බෲවරීස් සමාගම වෙනුවෙන් අප නිර්මාණය කළ අනන්‍යතා අකුරු මෝස්තරය Lion බියර් දැන්වීම් වල දී දැකිය හැකි ය. බීර අලෙවි හල් වල ද මේ මෝස්තරයෙන් ඔවුන් ගේ ප්‍රචාරක කටයුතු කරනු ලැබේ.
පසුගිය කාලයේ පළ වුණු සීමාසහිත හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ‘නැගිටිනු’ පුවත්පත සඳහා ද මෙබදු අනන්‍යතා මෝස්තරයක් නිර්මාණය කළෙමු.
දියුණු රට වල නම් මේ ක්‍රමය ඉතා ප්‍රචලිත ය. බීබීසී හෝ සී එන් එන් රූපවාහිනී, ඒ ඒ නාලිකා  භාවිත කරන අකුරු මෝස්තර වල වෙනසින් ම හඳුනා ගත හැකි ය.

 
 

ලියවිලි විවිධ ආකාර ය. කෙටි ලියවිලි, සාමාන්‍ය ලියවිලි, දීර්ඝ ලියවිලි ආදි වශයෙනි. කෙටි ලියවිලි හා සාමාන්‍ය ලියවිලි සඳහා නම් නොයෙක් අකුරු මෝස්තර යොදා ගැනීමට හැකි ය. එහෙත් දීර්ඝ ලියවිලි එනම් පිටු ගණනාවක් සහිත පොත්, පුවත්පත් වල ප්‍රවෘත්ති අඩංගු කොටස් ආදි දිගු වේලාවක් එක දිගට කියවිය යුතු ලියවිලි වල දී විවිධ හැඩ අකුරු මෝස්තර භාවිත නො කළ යුතු ය. විසිතුරු අකුරු සහිත ලියවිලි  එක දිගට කියවා ගෙන යෑමේ දී අවිඥානික ව එය මොළයට බලපාන බැවිනි. එබඳු අවස්ථා වල දී කියවන්නාට නො දැනුවත් ව ම ඇස් රිදීම, හිසේ කැක්කුම ඇති විය හැකි ය. එවිට පොත හෝ ඒ දීර්ඝ ලියවිල්ල කියවීම එපා විය හැකි ය. මෙය විද්‍යානුකූල කරුණක් වන අතර, ඒ නිසා එබඳු ලියවිලි සඳහා යොදා ගන්නේ ‘ලියවිලි අකුරු මෝස්තර’ පමණි. සිංහලෙන් මේ සඳහා ඉතා ම සුදුසු මෝස්තරය වන්නේ ‘අභය’ මෝස්තරය යි. දැනට පවතින්නේ මේ මෝස්තරය පමණකි. ඉදිරියේ දී මේ සඳහා තවත් මෝස්තර සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.
අභය මෝස්තරයේ දී වුවත් ‘කළු අකුරු’ (Bold)   මුළු ලියවිල්ලට ම යොදා නො ගත යුතු ය. කළු අකුරු තිබෙන්නේ අවශ්‍ය කාරණයක් ඉස්මතු කිරීම සඳහා යොදා ගැනීමට පමණි.